ඉන්ෆීටර්

“උඹ කියන හැටියට කෝවිඩ් කෙලියෙන් කෙලවෙන්නේ ආර්ථිකේට … හේ!… ඇහුනද?… ඒ… ‘කෙලියෙන් කෙලවෙනවා’ කියන එකේ මාර කාව්‍යමය රසයක් තියෙනවා…”

“උඹයි උඹෙ කවි රසයයි! ලෝකේ ගිනිගන්නවා, උඹ සුරුට්ටු පත්තු කරන්න එනවා!”

“ඒ කිව්වේ ආර්ථිකේ විතරයි රකින්න වටින්නේ, අනික් ඒවා සේරම අතෑරලා? රුපියල් වලින් විතරක් ජීවිතේ වටිනාකම මනින්න බෑ බං”

“රුපියල් නැත්තම් ඔය කවි රසවිඳින්න කවුරුත් නැතිවෙයි…”

මෙතන වෙන්නේ විවාදයක් නෙවෙයි - උනුසුම් සාකචඡාවක් පමණයි. මේ ළමයි කාන්ඩේ කීපදෙනෙක් මම මීට ඉස්සරත් දැකලා තියෙනවා පේරාදෙනි සරසවි කැන්ටිමේ. ඔවුන්ගේ සාකච්චා මාතෘකා දවසෙන් දවස වෙනස් වෙනවා ඇති; මට තවම එක මාතෘකාවක් ගැන දෙවරක් ඇහිලා නෑ.

නාකි මම එතෙන ගැවසෙන්නේ මේ වගේ සාකච්චා අහන්නමයි. රටේ අනාගතය වෙනුවෙන් මේ ළමයින්ගෙන් සෑහන වැඩකොටසක් ඉටුවෙන්න තියෙනවා. දැනට රටේ වැදගත් තනතුරු දරන මගේ වයසේ නාකියෝ කරලියෙන් අයින්වෙන්න කාලේ ඇවිත් කියලා තමා මට හිතෙන්නේ. මේ වගේ සිහිබුද්ධි ඇති තරුණ පරපුරකින් ඒ හිස්තැන පිරවුනොත් රටේ අනාගතය සම්පූර්ණෙන්ම විනාශ නොවෙන්න ඉඩ තියෙනවා. මම තේ එක අරගෙන සාකච්ඡා මේසෙට කිට්ටුවෙන් වාඩිවූයේ ළමයින්ගේ කතා වලට හොඳින් කන්දෙන්නයි..

කෝවිඩ් වසංගතය නිසා වසා තිබුන සරසවිය නැවත විවෘතවුනේ ලඟදී. ඒ නිසා කැන්ටිමේ සාකච්ඡා මාතෘකාව වසංගතය ගැන වීම පුදුමයක් නෙවෙයි. මේසයක් වටා වාඩිවී තේ තොලාගාමින් කතාවේ යෙදෙන කන්ඩායමේ අද හිටියේ කොල්ලෝ තුන්දෙනෙකුත් කෙල්ලෝ දෙන්නෙකුත් විතරයි. වෙනදා වගේ නෙවෙයි අද හිස් මේස කීපෙකුත් තිබුනා.

“හැබැයි ආර්ථික විද්යාව කියන්නේ ‘ඉල්ලීම/සැපයීම’ විතරක්ම නෙවෙයි නේද? සුමිත් ලියන කවි වලට ඉල්ලීමක් නැත්නම් එයා ලිවීම නවත්තවද? නවත්තන්න ඕනද? මම මේ අහන්නේ, කවියක අගය මනින්නේ කොහොමද?”

ඒ කෙල්ලගෙ ප්රශ්න මාලාවට උත්තර ආවේ ආර්ථික විද්යාව කරන කොල්ලෙකුගෙන් බව පැහැදිළියි.

“පද්මා දන්නවා මගෙ සබ්ජෙක්ට් එක ඔය ‘ඉල්ලීම/සැපයීම’ වගේ වචන කුට්ටම් පාවිච්චි කරලා, උඩින් පල්ලෙන් බලලා තේරුම් ගන්න අමාරු බව… ඒක හරියට මම ‘කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්’ වගේ වචන පාවිච්චි කරලා රසායන විද්යාව තේරුම් ගන්නවා වගේ”

“නෑ සනත්… මට ආර්ථික විද්යාව හොඳින් තේරුම් ගන්නම ඕන නෑ… හැබැයි ඇත්තටම කවියක කතාවක නියම අගයක් තියෙනවද? හාල් සේරුවක, නැත්නම් කම්කරුවෙක් දවසකට කරන වැඩ කොටසක වගේ?”

මෙතනදී පටන්ගත්ත පොඩි දේශනය විනාඩි කීපයක් පැවතුනා. ආර්ථික විද්යාව ගැන කිසිම ඇල්මක් හෝ අවබෝධයක් නැති මම ඒ වෙලාව පුටුවෙන් නැගිට ගොස් වඩේ එකක් ගෙනෙන්න යොදා ගත්තා. දැන් සාකච්ඡාව පරිභෝජනයත් හුවමාරුවත් ගැන.

“මට පෙනෙන්නෙ නෑ ඇයි සනත් හැම දේටම රුපියල් අගයක් දාන්නේ කියලා - ගත්ත උදාහරන වල…”

“රුපියල් නෙවෙයි කොස් ඇට වලින් මැන්නත් මූලධර්මය එකයි…”

“හා… හා උඹ කියපන් අර… අර මෙව්වා එකක වටිනාකම?”

“රුපියල් අසූ පහයි!”

ඒකට මටත් හිනා ගියා.

“කිසිම වටිනාකමක් නැති දේ තියෙනවද? … මෙයාගෙ කවි හැර?”

“ඒක පරිභෝජකයා අතේ… දැන් මට මැටි වල කිසි වටිනා කමක් නෑ. නමුත් කුඹල්කාරයෙකුට මැටි වටිනවා. කුඹල්කාරයාට වටින නිසා මට මැටි වලක් තියෙනවානම් ඒක මට වටිනවා, මැටි විකුනාගන්න පුළුවන් නිසා… වටිනාකම පාරිභෝගිකයගෙ ඉල්ලීම අනුව”

වැඩිය සද්ද නැතුව හිටපු කෙල්ල ඒ වෙලාවේ ප්රශ්නයක් ඇහුවා.

“අපිට ඉල්ලීමක් අළුතෙන් මවාගන්න පුළුවන්ද? මං අහන්නේ, දැනට කිසිම ඉල්ලීමක් නැති දෙයක් පොලිශ් කරලා පෙන්නලා ඉල්ලීම උපදවන්න?”

“ඇත්තටම පුළුවන් මාලා… ඒක නිතරම වෙන දෙයක්. අළුත් නිශ්පාදන සේරම වගේ එහෙම නේද? ටෙලිෆෝන්, ජීන්ස්, විස්කි…”

“ඔය කියන්නේ ඇඩ්වටයිසින්,,,”

“ඔවු… කෙලින්ම වෙළඳ දැන්වීම් පාවිච්චි කරලා නැත්නම් සියුම් විදිහට අපෙ හිත් වෙනස් කරලා… අපෙ දේශපාලකයෝ මාලිගාවට ගිය පින්තූර පත්තරේ දානවා වගේ. එතනදී ‘අනේ බොස්ලා මට ඡන්දේ දෙන්නකෝ’ කියන්නෙ නෑ නමුත් පොඩි හින්ට් එකක් දෙනවා ‘මම හොඳ බෞද්ධයා - ඒ කියන්නේ හොඳ පොර’ කියලා”

“ඒ කියන්නේ ඒ කිසි දෙයක් ඇත්තම වෙන්න ඕන නෑ!”

“පිස්සුද? ඇත්ත කියලා කොහොමද මොකවත් විකුනාගන්නේ? එළවලු මුදලාලී ‘මේ වේලිලා ගිය ගෝවා ගන්න නෝනා’ කියන්නෙ නෑ - ‘අද උදේ මතුරටින් ආවේ නෝනා - තවම පිනි!’ – එහෙමයි ඕන දෙයක් විකුනන්නේ…”

මෙතෙන්දී එක එක්කෙනා තම තමා දන්නා කුහක වෙළඳ අත්දැකීම ගැන කතා කරා විනාඩි දහයක් විතර.

මාලා නැමැති කෙල්ල ආයෙත් ප්රශ්නයක් ඇහුවේ පළමුව පොඩි කතාවක් කියලා.

“මං හිතන්නේ ඔයගොල්ලට හම්බවෙලා නැතුව ඇති අර සරත් කියලා එන්ජිනියරිං කරපු ළමයෙක් - මගෙ නෑයෙක් - අපිට වඩා සීනියර්. දවසක් එයා මට කිව්වා එයාගෙ යාළුවෙක් රවට්ටපු හැටි - කිසිම වැඩකට නැති නිපයුමක් මවලා. යාළුවා එන වෙලාවේ සරත්ගෙ කාමරේ කිසිම පිළිවෙලක් නෑ - ඇඳ උඩයි, බිමයි වැහෙන තරමට පොත්, ඇඳුම්, සපත්තු… මේසේ උඩ පොත් එක්ක එලෙක්ට්රොනික් කෑලි ගොඩ කරලා. ගලවපු රේඩියෝ කෑලි, හීටර් කෑලි, වයර්, කොයිල්, බැටරි එහෙම; සරත්ගෙ ගෙදර කාමරෙත් එහෙමයි! යාළුවා මේසේ උඩ තිබුන මෙවලම් දැකලා ඇහුවා ‘මොකද්ද සරත් මේ?’ කියලා. යාළුවා දන්නවා සරත් එක එක ගැජට් නිර්මාණය කරන බව. සරත් කියනවා ‘ආ… ඔය ඉන්ෆීටර් එකේ කෑලි’ කියලා. ඉන්ෆීටර් කියලා අළුත්ම ගැජට් එකක් හිතෙන් මවලා, හොඳ නමකුත් දාලා හරියට එහෙම එකක් හදනවා වගේ. සරත්ගෙ යාළුවා කැමති නෑ ‘ඒ මොකද්ද?’ කියලා අහන්න - නොදන්නා බව සරත්ට පෙනෙන නිසා. සරත් කියනවා මිනිහා ඉඳලා හිටලා සරත් හමුවුනාම තවමත් අහනවලු ‘ඉන්ෆීටර් වැඩේ කොහොමද?’ කියලා”

ළමයින්ගේ හිනා අතරේ මාලා කතාව කිවූ හේතුව එළිකළා.

“මට හිතුනේ මේකයි… අපිටත් පුළුවන්ද ‘ඉන්ෆීටර්’ එකක් හදලා, ඒකේ වටිනාකම ලෝකෙට ප්රසිද්ධියේ පෙන්නලා, මුළු ආර්ථිකයක් හදා ගන්න?”

විද්යාව හදාරන සිසුවෙක් ප්රශ්න කීපයක් ඉදිරිපත්කළා.

“සමාවෙන්න මාලා… ඒක ගොං අදහසක්! එක - කොහොමද ඉන්ෆීටර් එකක් ඩිසයින් කරන්නේ ඒකෙන් කෙරෙන්නේ මොකද්ද නොදැන? ඩිසයින් කරත් කොහොමද තොග නිෂ්පාදනයක් පටන් ගන්නේ? මොකටද? කොහොමද වටිනාකම ලෝකෙට කියන්නේ වටිනාකමක් නැත්තටම නැතිකොට?... මාලගෙ මොලේ ගැන පොඩි පහේ ප්රශ්න මගෙ සිහියට එනවා!”

මාලා කියන ළමයා මේකෙන් සසලවුනේ නෑ.

“මම ඇහුවට තරහ වෙන්න එපා… ලෙනී ඔය ටීශර්ට් එක ගත්තේ කවද්ද?”

“හ්ම්… දැන් මාසෙකට විතර ඉස්සර… ඇයි ඇහුවේ?”

“නෑ … මට දැනගන්න ඕනැ ඇයි ඕක ගත්තේ කියලා”

“… සපත්තු පිහින්න නම් නෙවෙයි…”

“කමිසේ ‘කොකා කෝලා’ කියලා ගහලා තියෙන්නේ බෝතලේක පින්තූරෙකුත් එක්ක. ඔයාට ඒ කොම්පැනිය ගෙවනවද, වෙළඳ දැන්වීම් පිටේ ගහගෙන ඉන්නවට?”

“ඔයාට තේරෙන්නෙ නෑ - මේක තමා ස්ටයිල් එක - මේ ටීශර්ට් නියමයි!”

“ඒක ස්ටයිල් එකක් කියලා කිව්වේ කොකා කෝලා කොම්පැනියේ අයද? … සට්යිල් එකේ වටිනාකම ඔයා මැන්නේ කොහොමද, සල්ලි දීලා කමිසේ ගන්න ඉස්සර?”

මට තේරෙනවා කෙල්ල මේ ප්රශ්නවලින් යන දිහාව. ‘ලෙනී’ කියපු කොල්ලටත් තේරෙන්න ඇති - සමිතියේ සද්දේ ටික වෙලාවකට අඩුවෙලා ගියා. ඊලඟට කතාකළේ සනත් කියන ආර්ථික විද්යා කාරයගෙන්.

“ස්ටයිල් කියන්නෙත් විකුණන භාණ්ඩයට වටිනාකම ගෙනෙන එක දෙයක්; පාට, මැටීරියල් එක, කල් පැවැත්ම වගේම. ලෙනී වගේ පාරිභෝගිකයන්ට ඒක වටිනවා… අනුන්ගෙ වාසියට වෙළඳ දැන්වීමක් පිටේ ගහගෙන ඉන්න එකත් ස්ටයිල් එක කියන්න පුළුවන්… අර ගෑනු අමාරුවෙන් අඩි උස සපත්තු දාගෙන ඇවිදිනවා වගේ... මම කියන්නේ, කොකා කෝලා දැන්වීම කමිසෙට යම්කිසි වටිනාකමක් දෙනවා… ඒකෙන් ලාබ ලබන්නේ කවුරු වුනත්, ලෙනී ඒකට කීයක් ගෙව්වත්, ඒකේ එයාට වටිනාකමක් තියෙනවා … නමුත් මට හරියටම හිතාගන්න බෑ ඔයාගෙ ඉන්ෆීටර් එක වෙලඳපොලට ගෙනෙන විදිහක්…”

“සනත් අහලා තියෙනවද ‘පෙට් රොක්ස්’ කියලා දෙයක් ගැන?”

“නෑ… රොක්ස් කියන්නේ මොකක් හරි සතෙක්ගෙ නමක්ද, පෙට් ඩෝග් වගේ පෙට් රොක්ස්?”

“නරක නෑ! පෙට් කෑල්ල හරි ’සුරතල් සතා’ වගේ. නමුත් රොක්ස් කෙලින්ම ඉංග්රීසි වචනේ - ගල්! කවුදෝ කෙනෙක් සෑහෙන තරමක් සල්ලි හෙව්වා ගල් කෑලි විකුණලා සත්තු වගේ ඇති කරන්න! මිනිහා පෙට් රොක්ස් වික්කේ ඒවා හරිම කීකරුයි කියලා ‘හෙල්ලෙන්න එපා!’ කියලා කිව්වොත් ආයේ ඒවා එහෙ මෙහෙ දුවන්නේ නෑ! මං හිතන්නේ ඇමෙරිකා එක්සත් ජනපදේ… වෙන කොහෙද ඒවා කරන්න පුළුවන්?... මේකයි මම හිතුවේ. පෙට් රොක්ස් කතාවෙන් පෙනෙන්නේ කිසිම ප්රයෝජනයක් නැති දේත් විකුනන්න පුළුවන්, හරියට මාකට් කෙරුවොත් කියලා”

……………………

සාකච්ඡාව දිගටම ගියේ විදුලි කොටන වේගෙන් අදහස් හුවමාරු වෙමින්. ඉන්ෆීටර් නිෂ්පාදනය, බෙදාහැරීම, ඉල්ලීමක් මැවීම සහ දියුණුකිරීම, මිල නියම කිරීමේ රෙකුලාසි - මට හිතුනේ මේ සිසුවෝ නව තාක්ෂණයක් සොයා ගත් ව්යවසායකයෝ කණ්ඩායමක් වගේ සෑම පැත්තක්ම ඉතා පරීක්ෂාකාරව සොයා බැලුවා. මට අමුතු සතුටක් දැනුනා මේ අයගෙ කැපවීම ගැන - මාතෘකාව කොයිතරම් අප්රයෝජන වුවත්.

මේ විදිහට අළුත් අදහස් සාකච්ඡා කරන්න මගෙ වයසේ අයට බෑ. අපිට අත්දැකීම් වැඩියි. සෑම අදහසක්ම අත්දැකීම් නැමැති පෙනේරෙන් පෙරා ගන්න නිසා බොහෝවිට අන්තිමට ලැබෙන්නේ පරණ අදහස්මයි. අපේ සිතිවිලිත් ශරීරයත් එක්ක මලකඩ කනවා. අළුත් අදහස් වලට හොලවන්න බෑ අපේ මලකඩ බැඳුනු මොලේ. මේ සිතුවිලි ගංගාවේ ගිලී ඉන්න මම ගැස්සිලා ඇහැරුනේ අල්ලපු මේසේ ළමයෙක් අහපු ප්ර්ශ්නෙකින්.

“හ්ම්…?”

“නෑ මම අන්කල්ගෙන් ඇහුවේ මේ ඉන්ෆීටර් ගෘහ කර්මාන්තයකටද විශාල ෆැක්ටරියකටද වඩා ඔබින්නේ?”

මට විශා ලජ්ජාවක් ඇතිවුනා. මම ඔවුන්ගේ කතා වලට හොරෙන් කන්දීගෙන ඉඳීම අශිෂ්ට ක්රියාවක් බව මට වැටහුනා. මම ඔවුන්ගේ ප්රශ්නයට උත්තර දුන්නේ පූර්විකාවක් සමගයි.

“පුතාලා දුවලා මට සමාවෙන්න ඕන මම කරපු නැහැදිච්ච වැඩේට… අනික් අයගෙ, මේ අයගෙ, කතා වලට කන්දීම මම නරක හිතකින් කරන දෙයක් නෙවෙයි… කාලෙකට ඉස්සර මම මෙතන ඉගෙන ගත්තා… ඒ කාලේ මට තවම මතකයි… දැන් විශ්රාම ගිහිනුත් කාලයක්… හැබැයි මොලේ පාවිච්චි කරලා කරන කතා අහන්න තියෙන ආසාව තවම විශ්රාම ගිහින් නෑ…”

“මම දැකලා තියෙනවා කීප සැරයක් අන්කල් මේ කැන්ටිමට එනවා… අපි ඒ දවස්වල අපි අපි අතරේ කතා වුනා අන්කල් කවුද කියලත්!”

“මොකද්ද ආපු නිගමනය?”

ළමයි මුහුණෙන් මුහුණ බැලුවේ ‘කියනවද නැද්ද’ තීරණය ගන්න අමාරුයි වගේ. මට හිනා ගියා.

“මට හොඳටම පිස්සු කියලා හිතුවට කමක් නෑ!”

ළමයිත් පොඩි හිනාවක් පෙන්නුවා. කතාකළේ ඉන්ෆීටර් හඳුන්වාදුන් කෙල්ල.

“අපි හිතුවේ… අපෙ නිගමනේ… අන්කල් කොහෙ හරි ලොකු රස්සාවක් කරලා විශ්රාම ගිය කෙනෙක්… සමහරවිට ඉස්සර වගේ මොලේ පාවිච්චි කරන්න අවස්ථාවක් නෑ… ඒක ලොකු අඩුපාඩුවක්… සමහරවිට තනියම ජීවත්වෙන්නේ…”

“හුඟක් දුරට හරි… මම කරපු රස්සාව ලොකු නෑ… නමුත් මොලේ පාවිච්චි කරන, විද්යාවට සම්බන්ධ රස්සාවක්… නමුත් මම තනියම නෙවෙයි ඉන්නේ; හැබැයි පවුල මං වගේ පයින් ගමනට කැමති නෑ - ඒකයි තනියම ඇවිදින්නේ…”

පොඩි නිහඬ තාවයක්. මම මගෙ අළුත් සගයන්ගෙන් අහලා තව තේයි වඩෙයි ඕඩර් කරා.

“අන්කල් මොකද කියන්නේ ඉන්ෆීටර් වලින් ආර්ථිකය දියුණු කිරීම ගැන - ‘ඉන්ෆීටර් ලෙඩ් රිකවරි’?”

මට ආයෙත් හිනා ගියා.

“අදහස හොඳයි… අපේ රටේ සමහර වර්තමාන නිෂ්පාදන ඉන්ෆීටර් වර්ගයේ කියලා මට හිතෙනවා… නමුත් මට කියලා දෙනවද ඉන්ෆීටර් නිෂ්පාදනයකින් රටේ ආර්ථිකේ කොහොමද දියුණු වෙන්නේ කියලා?”

සේරම ආර්ථික විද්යා කාරයා දිහා බැලුවා. ඒ ළමයා කතා කරන්න පටන්ගත්තේ සැකයෙන් වගේ - වයසක කෙනෙකුට දේශනයක් දෙන්න අකමැතියි වගේ.

“මම අන්කල්ට ආර්ථික විද්යාව ගැන කියන්නේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි - මේ අයට වඩා අත්දැකීම් මහ ගොඩක් අන්කල්ට තියෙනවා…නමුත්… මූළධර්ම බැලුවොත්… සීමිත සම්පත් එකතුවකින් අසීමිත ඉල්ලුමක් සපුරාලීමට ගන්න තේරීම් තීරණ ගැනයි ආර්ථික විද්යාව හදාරන්නේ … අඩුම ගානේ ඒකයි පොතේ තියෙන්නේ. ඔය ඉල්ලීම-සැපයීම නාඩගමේ වැදගත් නළුවෝ හතර දෙනෙක් ඉන්නවා - නිෂ්පාදනය, පරිභෝජනය, ප්රවාහණය සහ හුවමාරුව… මේ කැන්ටිම ගත්තොත්: කුස්සියේ තේ හදනවා - නිෂ්පාදනය; අපි තේ බොනවා - පරිභෝජනය; වේටර් තේ මේසෙට ගේනවා - ප්රවාහණය; අපි සල්ලි ගෙවනවා - හුවමාරුව. ඒ ටික කොහොමද?”

මට ඒ ටික තේරුම් ගන්න අමාරුවුනේ නෑ.

“පුතා මට ඒ ටික හොඳටම තේරුනා. ඇත්තද බොරුද දන්නෙ නෑ, නමුත් තේරුනා!”

ඒකට ළමයි හිනාවුනා. නමුත් මම තව ප්රශ්නයක් ඇහුවේ සිද්ධාන්ත වලින් ප්රායෝගික පැත්තට පනින බලාපොරොත්තුවෙන්,

“අපි දන්නවා ඉන්ෆීටර් කන මිනිස්සු ඉන්නවා නම් ඉවීමයි, මේසෙට ගෙනත් දීමයි, මුදල් අයකිරීමයි අපිට පුළුවන්. ඉන්ෆීටර් රස කරලා ඉල්ලීමක් ඇති කරන්න පුළුවන්ද?”

උත්තර දුන්නේ කවි කාරයා.

“මම ඉන්ෆීටර් ගැන කවි ලියනවා පත්තරේට … කතා ලියනවා ඉන්ෆීටර් මට පාඩමට උදව්වුන හැටි කියලා… සෑම ටෙලිවිශන් ප්රෝග්රෑම් එකකම සෑම ගෙදරකම, මේස උඩ ඉන්ෆීටර්, අගමැතිගෙ මේසේ උඩ ලොකු ඉන්ෆීටර් එකක්… නළු නිළියෝ ඉන්ෆීටර් නැතුව කොහෙවත් යන්නෙ නෑ… සුදු කෝට් ඇඳගත්ත අය ඉන්ෆීටර් ඩිසයින් කරන පින්තූර පත්තරේ… සාප්පුවකින් රුපියල් දාහකට වැඩිය බඩු ගත්තොත් ඉන්ෆීටර් ලොතැරැයියට ඇතුල් වෙන්න පුළුවන්… “

කතාව නැවතුනේ හුස්ම ගන්න! මම අප්පුඩියක් ගහලා කතා කරන්න පටන්ගත්තේ ඇත්තටම සන්තෝසෙන්.

“ඉල්ලීම මැවීම මේ පුතාට බාර දෙන්න වටිනවා… එක අවවාදයක් - මන්ත්රීලා කීප දෙනෙක් අල්ලගන්න වටිනවා. මොකද කලක් යනකොට ඉන්ෆීටර් ඇමතියෙක් පත් කරන්න බැරිවෙන එකක් නෑ… ඊටත් ඉස්සර ඒ නියම නම, ‘ඉන්ෆීටර්’, රෙජිස්ටර් කරගන්න ඕන… තව දෙයක්… ඉන්ෆීටර් පරිසරයට හානියක් නැති දෙයක් වෙන්න ඕන. අපිට බැරිද පොල් කෙඳි, පොල් කටු, වියලි මල්, ගඟේ රවුම් බොරළු… වගේ දේ අමු ද්රව්ය හැටියට ගන්න? ඒ කියන්නේ කෙලින්ම ගෘහ කර්මාන්තයක්. ලොකු ෆැක්ටරි නැති එක වාසියක් - මන්ත්රී නෑදෑයෝ මැනේජර්ලා හැටියට එන්නෙ නෑ… ඊටත් වැඩිය … අපිට පුළුවන් පලාත් අනුව වෙන වෙන ඉන්ෆීටර් හදන්න… යාපනේ ඉන්ෆීටර්, රත්නපුරේ ඉන්ෆීටර්… ඊට පස්සේ තරඟ තියෙනවා හැම ඉන්ෆීටර් එකක්ම එකතු කරේ කවුද කියලා…”

මම නැවතුනේ කොල්ලෝ කෙල්ලෝ කට ඇරගෙන මා දිහා බලාගෙන ඉන්නවා දැකලා.

අපි සේරටම එක සැරේම මල් වෙඩි පිපිරුනා වගේ මහ හයියෙන් හිනා ගියා. කැන්ටිමේ හිටපු අනික සේරම හැරිලා අපි දිහා බැලුවේ පුදුමෙන් - නාකියෙක් කොල්ලෝ කෙල්ලෝ එක්ක එකට හිනාවෙන නිසාද කොහෙද. නමුත් මම හොඳටම දන්නවා මගේ හිනාව ආවේ මුහුණෙන්, ඇසෙන්, කටෙන් විතරක් නෙවෙයි - මගෙ හදවතේ පතුලෙන්ම ඒ හිනාව ආවේ. ඒ වෙලාවේ මට දැනුනේ පුදුම සතුටක් - අළුත් පරම්පරාවක් සමග අත්වැල් බැඳගන්න මගේ මනසට තවම හැකියාව තියෙනවා.