සමතයක්
“අපි කොයි විදිහටද අමුතු? මං කියන්නේ මොන මිම්මෙන්ද අමුතු?”
“ඒකට මා ලඟ නමක් නෑ නීලා… ‘නැති රටවල් ගැන මතක’ කියලා දෙයක් මා දන්න තරමට මනෝ විද්යා පොතපතේ තාම ලියවිලා නෑ… සමහරවිට නීලට තමා ඒ ගැන ලියන්න වෙන්නේ!”
මලික්ගෙ හිතට හරි නෑ වගේ නමුත් අහුවේ වැදගත් ප්රශනයයක්.
“ලලිත්ගෙ ‘නැති රටවල් ගැන මතක’ කට්ටිය නිකම්ම අමුතුයි කියලා මදි. මට පේනවා ඒ අයගෙත් අඩුම ගණනේ කාණ්ඩ දෙකක්. ඒකෙන් පළවෙනියට අපි - අපිට සේරම මතකයි. නමුත් ශෙලී පීටසන් වෙනස්. ඉස්සරවෙලා එයාටත් නැති රටවල් මතකයි, නමුත් දැන් ඒ මතකේ නෑ. ඒ කියන්නේ එයාට ඒ මතක තියෙන්නේ… තිබුනේ… කෙටි කාලයකට විතරයි. ඒ කියන්නේ එයා ‘බාගෙට අමුතුයිද’?
“නෑ නෑ මලික්… මම දැන් පොඩ්ඩකට ඉස්සර කතා කර ශෙලී ඉස්සර හිටපු ශෙලී නෙවෙයි. දැන් ඉන්නේ බාබේඩොස් තියෙන විශ්වයේ ශෙලී - ඒකයි එයාට අපි එහෙම මතක නැත්තේ…”
“එහෙනං ලලිත් කිව්වේ මේක බහු විශ්ව ප්රශ්නයක් නෙවෙයි කියලා!”
“නෑ…. මම කිව්වේ මේ ප්රශ්නය බහු විශ්ව ගැන විතරක් නෙවෙයි කියලා. බහු විශ්ව මතය හරි… වෙන විදිහකට අපිට වෙලා තියෙන දේ පැහැදිලි කරන්න බෑ… නමුත් ඒ මූලික ක්රමයට උඩින් පොඩි වෙනස්කම් තියෙනවා - වටකුරු දොඩම් ගෙඩියක පොත්ත හොඳටම සිනිදු නෑ වගේ. ගෙඩිය තවම වටකුරුයි හැබැයි මතුපිට ගොරෝසුයි”
“ඒ කියන්නේ අපි… අඩුම ගානේ අපි තුන්දෙනා… බහු විශ්වයේ උඩින් හැදුනු පොඩි බිබිල් … බහු විශ්ව මුහුණේ කුරුලෑ වාගේ!”
“හරියටම හරි! හැබැයි සාමාන්ය කුරුලෑ නෙවෙයි - මුහුණ වෙනස්වුනත් කුරුලෑ තවම තියෙනවා! විශ්වයක් කියන්නේ මතක සම්භාරයක්. එක එක විශ්වයේ මතක එකතුව වෙනස්. නමුත් අපෙ මුහුණෙන් මුහුණට පනින කුරුලෑ වලට මුහුණු දෙකේම මතක තියෙනවා!”
මලික් මාත් එක්ක හිනාවුනාට නීලගෙ මුහුණෙන් පෙනුනේ කල්පනාකාරී බවක්. මලික් ඒක දැක්කා.
“මොකද නිල්?”
“නෑ… මං හිතුවේ… අපි තුන්දෙනාට සේරම මතක තියෙනවානම්…අනික් අයට එහෙම නැතුව… ඒ කියන්නේ, කිරිබති ආපහු ආවොත්… මයිකල් එහෙම මාව අඳුනන්නෙ නෑ, මම ඒ පවුල ඇඳුනුවාට… එහෙම නේද?”
ඊලඟට ඇහෙන ප්රශ්නේ ගැන මගෙ හිතේ අවිනිශ්චිත බවක් තිබුනත් මේ ප්රශ්නෙට මම ‘ඔවු’ කියලා උත්තර දුන්නා. හිතුවා වගේම නීලා ප්රශ්නේ ඇහුවා.
“ඒ විදිහට බැලුවොත් මොකද වෙන්නේ ලංකාව ආයෙත් පෙනෙන්න පටන්ගත්තොත්?”
මම මේ ගැන ටිකක් ගැඹුරට හිතලා තිබුනා. ඒකයි ඒ ප්රශ්නේ බලාපොරොත්තු වුනෙත්. ඒ වගේම මම දන්නවා ලංකාව ආපහු ආවොත් වැඩියම දුකක් විදින්න වෙන්නේ නීලට බව. ඒ නිසා මම උත්තරේට ආවේ රවුම් පාරකින්.
“අපි තවම දන්නෙ නෑ අපි වගේ තව කී දෙනෙක් අපෙ තේරුමෙන් ‘අමුතු’ වෙයිද කියලා. මයිකල් එහෙමත් අපි වගේ නම් ඒ අයටත් පරණ මතකත් තියෙයි… මං දන්නවා ඇත්තම ප්රශ්නේ ඒක නෙවෙයි කියලා නමුත් අපිට ඩේටා මදි අපි විතරයි ‘අමුතු’ කියන්න… නීලගෙ ප්රශ්නෙට මට දැනට දෙන්න පුළුවන් උත්තරෙන් වැඩියම… අසතුටුදායක විපාක… තියෙන්නේ නීලට… සොරි!…”
“…අපි හිතමු තව විනාඩි පහක ඉඳන් ලංකාව ආයෙත් තියෙනවා කියලා… එතකොට අපි තුන්දෙනා කොහෙද? මම ලංකාවේ. ලංකාව තියෙන විශ්වයේ මම ගිය ඔක්තෝබර් මාසේ අගදී ලංකාවට ගියා. ඒ විශ්වයේ මේ දැන් වෙන එක දේකටවත් මම සම්බන්ධ නෑ… ඒ කියන්නේ මලික් කියලා කෙනෙක් දන්නෙම නෑ, නීලත් අඳුනන්නේ යන්තමට… මම ලංකාවේ රස්සාවකුත් හොයාගෙන ඇති… මලික් එයාගෙ යාළුවත් එක්ක බ්රිස්බන් වල ජොලියක් දාලා ආපහු ලංකාවට ගිහින්. නීලයි මායි තියා මේ බිල්ඩිමවත් දන්නෙ නෑ… එතකොට නීලා…”
මං නීලා දිහා බැලුවේ ලොකු දුකකින්.
“නීලා පී එච් ඩී වැඩ කරනවා, සනත් එහෙමත් ආයෙ මේ බිල්ඩිමේ ඉන්නවා… හැබැයි … සමහරවිට… ඒ නීලට මතක තියෙයි මලික්, මම, මේ මීටිම… හරියටම කියන්න බැරිවුනාට… ඒක පොසිබල් … සොරි!”
අපි සද්ද නැතුව ටිකක් වෙලා හිටියේ මොකක් කියන්නද නොදත් නිසා වෙන්න ඇති. ඉස්සරවෙලාම කතකළේ මලික්.
“නෑ… එහෙම වෙනවා කියන්න හේතුවක් නෑ… ඇයි ලලිතුයි මායි වෙන විශ්වයක ලංකාවේ ඉන්නවනම් ඒ විශ්වයේ නීලා බ්රිස්බන් ඉන්නෙ නැත්තේ - ලංකාව තියෙන විශ්වයේ? ඒකේ ‘ලංකා කවයක්’, සුරාජ්ලා එහෙම නෑ. එතකොට අපි ගැන, මං ගැන මතකයක් තියෙන්න විදිහක් නෑ… ඒ තර්කේ වැරැද්ද මොකද්ද?”
නීලා මලික්ගේ අත උඩ තමාගේ අත තියලා ප්රශ්නෙට උත්තර දුන්නේ.
“තැන්ක්යූ මලික්… මේවගෙන් කෝක හරිද නැද්ද කියලා අපිට කියන්න බෑ. සමහරවිට ඔයා කියපු විදිහට, මට මේ ජීවිතේ ගෙවපු පහුගිය මාස හත අට සම්පූර්ණෙන්ම අමතකවෙලා යන්න පුළුවන්. ඒ වෙනුවට අලුත් මතක් ගොඩක් තියෙයි, වැඩිපුරම මගෙ රිසර්ච් ගැන… අනික් අතට, ශෙලී පීටසන් / බාබේඩොස් හුටපටෙන් පෙනෙන්නේ ලලිත් කිව්වා වගේ ශෙලීගෙ මතක නැති වෙලා ගියාට අපිට ඒ මතක මැකිලා ගිහින් නෑ… ඒ කියන්නේ මම ඒ ජීවිතේට මේ ජීවිතේ මතක කුරුලෑව ගෙනියන්න පුළුවන්. එතකොට පැහැදිලි නැති ඡායාවක් හැටියටවත් මට ඔයා මතක තියෙයි…”
මම කුස්සියට ගියා තේ හදන අවසරයෙන්. මලික්ටයි නීලටයි තනියම කතා කරගන්න ඉඩ දීලා මම තේ හදන්න ටිකක් වෙලා ගත්තා. පරණ බිස්කට් පැකට් එකකුත් සොයාගත්තා. මම කුස්සියෙන් එලියට එනකොට නීලයි මලිකුයි ගෙදර යන්න ලෑස්තියි, තේ බොන්නත් නොඉඳ. එලියට යන ගමන් නීලා හැරිලා මට කතා කරා.
“ඩිනර් හතට… ඇයි හය හමාරට විතර එන්නෙ නැත්තේ?”
……………………………….
පීටර් තාක්ෂණික පොත් මිටියක්ම ජයේට දුන්නේ විස්කි බෝතලේකුත් එක්ක. ජයේගෙ ස්තුතියට පීටර් පිළිතුරු දුන්නේ හිනාවෙලා.
“ලලිත්ට නිවාඩුත් කාරෙකත් දුන්නට ස්තුති කරන්න මේ මදි!”
පීටර්ට වැඩියෙන්ම දැනගන්න ඕන වුනේ ජයේගෙ කොම්පැනි කළමනාකරණය ගැනයි. අනික් අතට ජයේට ඕනවුනේ තමාගේ ක්ෂේත්රයේ නව සොයාගැනීම්/වර්ධනය ගැන ප්රවුර්තියි. දෙන්නට කතා කරන්න ඉඩ දීලා මම මගෙ වැඩ කරගෙන ගියා. පැයකට විතර පස්සේ ජයේ පුටුවෙන් නැගිට්ටා.
“ලලිත් අදම සීගිරි නගිනවානම් දැන් ගියොත් නරකද?”
වටේටම ස්තුති, සුභපැතුම් ප්රහාරයකින් පස්සේ අපි දෙන්නා පිටත්වුනේ සතියක සතුටුදායක සංචාරයක අපේක්ෂාවෙන්.
“ලලිත්ගෙ බොස් මාර දක්ෂයා නේද?”
පීටර් ජයේ ගැන කිව්වේ එච්චරයි. අපි දඹුල්ල බලා පිටත්වුනාට පස්සේ. අනවශ්ය ප්රශ්න නොඅසන මගේ හොඳම මිතුරු පීටර් සමග සතියක් ගෙවීම, බොහෝවිට ජීවිතයේ අන්තිම වරට මෙහෙම එකට ගමනක් යෑම, ගැන මම හිතුවේ බ්රිස්බන්හිදී මට ඉතා උපකාරීවූ මිතුරෙකුට යුතුකම් ඉෂ්ඨ කිරීමක් හැටියටයි.
……………………………….
මම යනකොට නීලයි මලිකුයි කෑම මේසේ ලඟ වාඩිවෙලා බරපතල සාකච්ඡාවක්; මගෙ දොරට ගැසීම ඇහෙන්නත් සැහෙන වෙලාවක් යන තරමට.
“කම් ඉන්… කම් ඉන් … වාඩිවෙන්න ලලිත්…”
මලික් මට ඇතුලට කතා කරාට හිනාවක් පේනතෙක් මානෙක නෑ, කාගෙවත් මුහුණේ. කතාව පටන්ගත්තේ නීලා, මමත් වාඩිවෙලා මලික් දීපු බීර වීදුරුව අතට ගත්තට පස්සේ.
“ලලිත්… අද අපි කතා කරපු දේ… අපි දැන් දවස් කීපයක්ම හිතපු, කතා කරපු දේ, ගැන අපි දෙන්නා හිතලා බැලුවා ඒවා අනාගතේ අපි දෙන්නට බලපාන හැටි… අපි හිතුවේ අපෙ අදහස් ලලිත්ට කියලා… ම්… ඒවගෙ හරි වැරදි හොයාගන්න, ලලිත්ට තේරෙන විදිහට…”
මම බීර උගුරක් ගත්තේ කල් මරන්න මිස බීර ඕනෑ කමකට නෙවෙයි.
“… ඕ … ඕකේ…”
මලික් කතාව පටන්ගත්තා.
“ලලිත් දන්නවා නීලයි මමයි බඳින්න හිතාගෙන ඉන්නේ කියලා. මේක අපි දෙන්නා ඕනෑවට එපාවට ගත්ත තීරණයක් නෙවෙයි - අපි හොඳට හිතලා බලලා තමා එහෙම ඩිසයිඩ් කරේ… එතකොට අපි හිතුවේ… හදිසියේ ලංකාව තියෙන විශ්වයකට පනින චාන්ස් එකක් තියෙනවා කියලා ඇයි අපි ප්ලෑන් වෙනස් කරන්නේ? “
“එහෙම වෙන විශ්වයකට පැන්නොත් ඒක ඒ වෙලාවට පුළුවන් විදිහකට බලාගමු - දැනට අපි බඳින ප්ලෑන් අතහරින්නෙ නැතුව ඉන්න තමා අපි තීරණයකළේ.… ඔය බහු විශ්ව කෙලිය මොක කරත් අද මෙතන ඉන්න නීලයි මමයි කොහෙ හරි අනාගතෙත් ඉඳියි කියලා හිතලා තමා අපි මීට පස්සේ වැඩ කරන්නේ… හිටපු ගමන් ‘යම් දවසක මම මෙහෙ නැතිවෙයි’ කියලා දැනට අතේ තියෙන හොඳ දේ බිල්ලට දෙන එක මාර ගොංකමක්!”
මලික්ගේ කතාවට අප්පුඩි ගහන තරම් සතුටක් මට දැනුනා. නමුත් මම නීලා දිහා බැලුවේ තව අදහස් ඒ පැත්තෙනුත් එයිද කියලා. හිතුවා වගේම නීලා කතා කළා.
“අපි දෙන්නා ඒ තීරණයට ආවට පස්සේ තව කාරණා කීපයක් ගැන තීරණ ගත්තා. නමුත් ඒවා ලලිත්ට කියන්න ඉස්සර… මලික් කියපු දේ ගැන මොකද කියන්නේ?”
කටහඬින්ම මගෙ සතුට දෙන්නට දැනෙන්න ඇති.
“දෙන්නා ගත්ත තීරණය හරියටම හරි කියලා මම හිතන්නේ… ඒකට මගෙ හේතු මෙහෙමයි. ඔය දූපත් නැතිවීම, මතකයන් නැතිවීම, බහුවිශ්ව වගේ දේ අපිම දාපු තියරි විතරයි. එහෙම වාද ඔප්පු කරන්න අපිට දත්ත නෑ. සමහරවිට ඒවා ඔප්පු කරන්න බැරි, සම්පූර්ණෙන්ම වැරදි තියරි වෙන්නත් පුළුවන්… ඒ තියරි මගේම වුනත් ඒක මම පිළිගන්නවා! … එහෙම පදනමක් උඩ හොඳ ප්ලෑන් අතහැර දැමීම මලික් කිව්වා වගේ මාර ගොංකමක්”
“මගෙ ඊලඟ හේතුව මේකයි… අපිට පාලනය කරන්න බැරි, නොතේරෙණ දෙයකට යටත්වෙලා ජීවිතේ කාබාසිනියා කරගන්න එකේ වටිනාකමක් කොහෙද? අපි බලන්න ඕනෑ අපිට පුළුවන් තරමට, කාටවත් හානියක් නොවෙන විදිහට හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න… ඔය දෙන්නා ඒකට දැනටම අඩිතාලම් දාගෙන යන්නේ… මගෙ හොඳම සගයෝ දෙන්නට ජයවේවා!”
මම මෙහෙම කියලා වීදුරුව ඉස්සුවේ නීලා දිහා බලාගෙන, නීලගෙ ප්රශ්න වලට උත්තර දෙන්න ලෑස්තියෙන්. නීලා කෙලින්ම අලුත් අදහස ඉදිරිපත් කළා.
“මේක ටිකක් … කොන්ට්රවර්ශල්… හැබැයි මලිකුයි මමයි දෙන්නම හිතන්නේ මෙහෙමයි… අපිට ඕනෑ ලංකා කවයෙන් අයින් වෙන්න…”
මම එක සැරේම කතාකළේ නෑ. නමුත් දිගටම නිහඬ වෙන්නත් බෑ.
“දෙන්නගෙ හේතුව?”
මලික් කෙලින්ම උත්තර දුන්නා.
“සිම්පල්… ලංකාව කවදාවත් ආපහු එන්නෙ නැත්නම්, ලංකා කවයට අපි කරන රිසර්ච් වලින් වැඩක් නෑ…. තව කාලයක් එහෙම කරලා ටිකෙන් ටික මේ ජීවිතේට පුරුදුවෙයි - අපි දෙන්නා දැනටම ඩිසයිඩ් කරලා තියෙනවා වගේ. සුරාජ් ලා කරන්නේ බොහොම හොඳ වැඩක්, මහන්සි වෙලා, වියදම් කරලා… ඒ අයගෙ හිත හොඳ නිසා තිලකා පීරිස් වගේ අයට ලොකු යහපතක් සිද්ධ වෙනවා. නමුත් අන්තිමට ඒවගෙන් කිසිම දීර්ඝකාලීන ප්රයෝජනයක් නෑ. ඒ වෙනුවට දැන් තියෙන ජීවිතේට හැඩ ගැසෙන හැටි කියලා දෙනවානම් ඊට වඩා හුඟාක් හොඳයි. සුරාජ් ඒක කරන්න බලාපොරොත්තු වෙන බව කතාවෙන් තේරෙනවා - මිනිහට වැඩේ තේරෙනවා…”
“මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව - අමතක කරන්න එපා ලංකාව ආවොත් ලංකා කවයක් නෑ. ලංකාව ආපහු ආපු වහාම ලංකා කවයේ වැඩ ගැන මතකයක් වත් ආයෙ නෑ - අපි වගේ අමුතු කීප දෙනෙකුට හැර!”
නීලා ආයෙත් කතා කරා.
“අපි හිතුවේ මේ ටික සුරාජ්ට හොඳට තේරුම් කරලා දෙන්න පුළුවන් ලලිත්ටමයි… ලලිත් සුරාජ්ට පැහැදිලි කරලා දුන්නොත් සුරාජ් ඉතුරු ටික කරයි - මලික් කිව්වා වගේ එයාට කාරණා තේරෙනවා. සමහරවිට ලංකා කවයේ අරමුණ වෙනස් කරයි, මලික් කිව්වා වගේ. නැත්නම් කාල සීමාවක් නියම කරගනියි වැඩ කටයුතු ඉවර කරන්න… මොක වුනත් අපි කැමතියි දැන්මම කවයෙන් අයින් වෙන්න - අපිට ඕනෑ අපෙ අනාගතේ අපිට ඕනෑ විදිහට සැලසුම් කරගන්න… යාළුවෙක් හැටියට ලලිත්ගෙත් උදව්වෙන්!”
රෑ කෑමෙන් පස්සේ මම ෆ්ලැට් එකට ආවේ හෙට අනිද්දම සුරාජ්ට කතා කරන්න තීරණය කරගෙන. ඇඳේ වැතිරගෙන මම පහුගිය මාස නවය වගේම අනාගතය ගැනත් හිතුවේ කනගාටුවත් සතුටත් මිශ්ර සිතිවිලි සමග.
මාස ගණනක් කළ ගවේෂණ වලින් කිසිම ඵලදායී ප්රතිඵලයක් නැතිවීම එක අතකින් කනගාටුදායකයි. අනික් අතට අපි ප්රශ්නයට එලඹුනේ තර්කානුකූල සැලැස්මක් ඇතුවයි. හුදෙක් විද්යාත්මකව සලකලා බැලුවොත් අපි කළේ වටිනා ගවේෂණයක් - ලෝකේ වෙන කිසි කෙනෙක් නොකල ගවේෂණයක්. සතුටට කාරණයක්.
අම්මා, නංගී, මල්ලී, ගම, ලංකාව… මේවා ගැන හිතලා කනගාටුවීමත් ඵලදායී නැති බව දැන් මට පැහැදිලියි. යම් විශ්වයක මම ඒ ජීවිතේ ගෙවනවා ඇති. මට දැනට තියෙන එකම කාර්ය මේ ජීවිතය හොඳින් ගෙවීම මිස නැති ජීවිත ගැන කනස්සල් වීම නෙවෙයි.
කාලෙකට පස්සේ මට අද නම් මට හොඳින් නින්ද යයි.
………………………………
හොඳම යාළුවෙක් එක්ක සතියක් රට වටා යන නිවාඩුවක් කොහොම විස්තර කරන්නද?
දඹුල්ල/සීගිරියෙන් පටන්ගෙන පොලොන්නරුවෙන් මහියංගනේ හරහා නුවර ආවේ දහඅට වංගුව පෙන්වන්නත් එක්ක. නුවර එක රැයක් නැවතිලා නුවර එලිය, හපුතලේ හරහා රත්නපුරේට ආවේ මැනික් ගරනවා පෙන්වන්න. ගමනෙ අන්තිම දවසේ මොරටුවෙන් මල්ලිත් දාගෙන මීගමුවට ආවේ පීටර් එදා රෑ මැද කටුනායකට දාලා මල්ලියි මායි නුවර එන්න හිතාගෙන. එදා මීගමු හෝටලේක රෑ කෑම කන ගමන් අපි පීටර්ගෙ නිවාඩුව ගැන නැවත මතක් කළා.
“මට එක කනගාටුවයි තියෙන්නේ - සති දෙක තුනකට, සූසනුත් එක්ක ආපු නැති එක”
පීටර් කිව්වේ ඇත්තටම කනගාටුවෙන් වගේ.
“ඇත්ත… තව හුඟක් දේ බලන්න තියෙනවා… ඒ වගේම සමහර තැන්වල දවසක් ඉඳලා මදි!”
“ඔවු… ලලිත්ලගෙ ගම වගේ… මට එහෙ සතියක් ඉන්න පුළුවන් කන්න දෙනවනම්… අනුර අරක්කුත් දෙනවනම් ඇලේ බොන්න!”
අපි තුන් දෙනාටම හිනා ගියා. පීටර් මල්ලෙන් පොඩි මලු දෙකක් එලියට ගත්තා.
“මේ ලලිත්ගෙ අම්මටයි නංගිටයි… සිංගප්පූරුවෙන් ගත්ත සාරි දෙකක්… මං සාරි ගැන දන්නෙ නෑ - කඩේ මිනිහා කිව්වේ ලංකාවේ අය මේවට කැමතිවෙයි කියලා. ඒක වැරදිනම් මට බැනලා වැඩක් නෑ - ඒ මිනිහට බනින්න!”
පීටර් තවත් මල්ලක් ඇදලා ගත්තා.
“මේකේ ඒ වගේම ලාබ ටී ශර්ට් දෙකක් - අනුරට… තැන්ක්යූ අනුර… ලලිත්ට මොකවත් නෑ - ආයෙ එංගලන්තේ හරි ඔස්ට්රේලියාවේ හරි ආවොත් දෙන්න බැරියෑ!
අපෙ සමුගැනීම් කෙටියි. නැවතත් අපිට ස්තුති කරලා, ලඟදීම ටෙලිෆෝන් කරන්න පොරොන්දු වෙලා පීටර් ගුවන්තොටුපොල ඇතුලට ගියා. මල්ලියි මමයි නුවර ආවේ වැඩි කතාවක් නැතුව. පහුවදා උදේ ගමේ ගියෙත් වැඩි කතාවක් නැතුව. මල්ලිට දැනෙන්න ඇති මම යම් වැදගත් මානසික මායිමකින් එගොඩවුනා කියලා.
මා එගොඩවුන මානසික මායිම ගැන මම හිතන්න පටන්ගත්තේ රෑ තනියම ඉස්සරහ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩිවී අඳුරු වෙල් යාය දිහා බලාගෙන ඉන්න වෙලාවේ. මගේ හිත සම්පූර්ණෙන්ම නිවී යන වෙලාවක් මේ; එදත් එහෙමයි අදත් එහෙමයි.
මාස නවයකට පෙර ඔස්ට්රේලියාවෙන් ලංකාවට ඇවිත් මෙහෙ හොඳ රස්සාවකුත් සොයාගත්තත් මෙතෙක් මම ලංකාවේ ජීවිතය මුළුමනින්ම වැලඳගෙන නොසිටි බව දැනුයි වැටහෙන්නේ. ඒ බව මට නොතේරුනත් මගෙ පවුලේ අය එය දකින්න ඇති. මල්ලී ඒක මට කෙලින්ම කිව්වා. අම්මටයි නංගිටයි වුනත් ඒක රහසක් නොවෙන්න ඇති.
අන්තිමට මගේ කතාවේ හා හැසිරීමේ වෙනස්කම් පෙන්වාදෙන්න සමත්වුනේ පිටින් ආ පීටර් ග්රීන්.
කොයි තරම් පිටරට අත්දැකීම් තිබුනත් මම ලාංකිකයෙක්. මගේ ජීවිතය, පවුල, ගම, රට… මේ කිසි දෙයක් පිටරට අත්දැකීම් වලින් වෙනස් වෙන්නෙ නෑ. එහෙම වෙනස් වෙනවා කියලා හිතන එක ගොංකමක්! හිතා මතා වෙනස් වෙන්න උත්සාහ නොකරත් මම වෙනස් වෙලා. දැන් මම හිතා මතා සම්පූර්ණ ලාංකිකයෙක් වෙන්න උත්සාහ කරන්න ඕනෑ. වරදක් හරිගැස්සීමක් හැටියට ඒක විය යුතු දෙයක් - මගෙ සිතිවිලි / අත්දැකීම් / මනාප මොනවා වුනත්.
කිසිදාක නොදුටු තරම් පැහදිලි ලෙස මගෙ අනාගත ජීවිතේ ඒ වෙලාවේ මට පෙනෙන්න පටන්ගත්තා. කාලෙකට පස්සේ අද නම් මට හොඳින් නින්ද යන බව සහතිකයි.