සන්ධාන
සෙනසුරාදා ‘ලංකා කවය’ මීටිම ගැන දිගට කතා කරගන්න බ්රිස්බන් සාමාජිකයෝ වන අපි තුන්දෙනාට එදා වැඩි වෙලාවක් ලැබුනෙ නෑ. ඒ මීටිම අවසානවූ වහාම මලික් නීලත් එක්ක බ්රිස්බන් නගරයට ගියා.
මලික් බ්රිස්බන් නගරයට වගේම ඔස්ට්රේලියාවටත් අලුත් නිසා එයා රට තොට හඳුනා ගැනීම වැදගත් බව අපි තුන් දෙනාම පිලිගත්තා. සඳුදා දුම්රිය දෙපාර්තමේන්තු සම්මුඛ පරීක්ෂණයෙන් රැකියාවක් පිළිබඳ සතුටුදායක ප්රතිඵලයක් ලැබීමටත් මලික් නගරය හුරුපුරුදුවී තිබීම ආධාරකයක් වේ යයි අපි විශ්වාස කළා. නමුත් නීලටයි මලික්ටයි එකට ගමනක් යන්න මේ වගේ අවසරයක් අවශ්ය නැති බව මට හිතුනා.
අපි තුන්දෙනා හමුවුනේ ඉරිදා උදේ තේ වෙලාවට, මගේ ෆ්ලැට් එකේ. තේ කෝප්ප අරගෙන මේසේ වටේ වාඩිවූ වහාම මම මගෙ හිතේ තිබුන අදහස ඉදිරිපත් කළේ ප්රශ්නයක් හරහා.
“නීලට පුළුවන්ද තව නෝටිස් එකක් යුනිවර්සිටි යූනියන් නෝටිස් බෝඩ් එකේ දාන්න?”
“අ… පුළුවන්… මොන වගේ නෝටිස් එකක්ද?”
මම මගේ සිතුවිලි එකලස් කරගන්න විනාඩියක් ගත්තා.
“මං හිතුවේ මෙහෙමයි… ඉස්සර කාලේ ලංකාවෙන් ඔස්ට්රේලියාවට වැඩිපුර ආවේ බර්ගර් ජාතිකයෝ. පවුල් පිටින් ආපු ඒ හුඟක් අය ලංකාවත් එක්ක වැඩි ගනුදෙනුවක් තියාගත්තෙ නෑ, මං හිතන්නේ… සුරාජ් මෙන්ඩිස් එහෙමත් එක අතකට ඒ කොටසට අයිතියි. ඒක ඒ අයගෙ වැරැද්දක් හැටියට නෙවෙයි මම කියන්නේ - ඒ ඇත්ත ඇති හැටි. අනික් අතට ලංකාවත් එක්ක කිට්ටුවෙන්ම ඉන්නේ ලඟදී ආපු අය… ලංකාව ඇති නැති එක වඩාම බලපාන්නේ ඒ අයට. ඒ ටික පිළිගන්නවද?”
දෙන්නම ඒකේ වැරැද්දක් නැති බව ඔලුවෙන් කිව්වා.
“ලඟදී ලංකාවෙන් ආපු අයගෙන් අපිට ලේසියෙන්ම කොන්ටැක්ට් කරන්න පුළුවන් යුනිවසිටි ස්ටුඩන්ට්ස්… ඒකයි නෝටිස් එකේ මූලික අදහස. නමුත් කතාව එතනින් ඉවර නෑ - ලෝකේ හුඟාක් රටවල් වලින් ළමයි මෙහෙ යුනිවසිටි වලට එනවා. එක්කෝ ස්කොලෂිප් වලින්, නැත්නම් සල්ලි ගෙවලා. දැන් ඔස්ට්රේලියාවේ හිටියට ඒ සේරගෙම පළමු බැඳීම තියෙන්නේ උපන් රටට. බේස් එක එහෙ, දැන් මෙහෙ ඇවිත් හිටියට”
මම තේ උගුරක් බිව්වා. නීලයි මලිකුයි තවම හොඳින් අහගෙන් ඉන්නවා, කතාවේ ඇදක් නොකියා.
“අපි දැනටම දන්නවා අතුරුදහන් වුන රටවල් කීපයක නම්, මැඩගසකාර් වගේ… මං හිතුවේ, අපි ඒ අතුරුදහන් රටවල්වල ලයිස්තුවක් හදලා නෝටිස් එකක් දාන්න - ‘මේවා හඳුනනවානම් අපිව කොන්ටැක්ට් කරන්න’ කියලා… ලියන වචන ගැන තව හිතන්න ඕනෑ නමුත් අදහස කොහොමද?”
ඉස්සරවෙලාම කතා කරේ නීලා.
“නියමයි ලලිත් - අපෙ පළවෙනි නෝටිස් එකෙන් ලංකාවේ අය සොයා ගත්තා වගේ මේකෙන් තව අය සොයාගන්න පුළුවන් කියලා මට හොඳටම ශුවර්!”
මලික් ප්රායෝගික ප්රශ්නයක් ඇහුවා.
“අදහස මාරයි ලලිත්. අපි මොකද හැබැයි කරන්නේ උත්තර සිය ගානක් ආවොත්?”
“මම තවම ඒ තරම් ඩීටේල්ස් හිතලා නෑ මලික්… නමුත් අපිට බැරිවෙන්නෙ නෑ එක එක රටවල් වලට, නැත්නම් රටවල් ගෘප් වලට වෙන වෙන සමිති හදා ගන්න, ලංකා කවය වගේ… හුඟක් කට්ටිය ඉන්න රටවල් තමංගෙම කවයන් හදා ගන්නවා, එකෙක් දෙන්නෙක් ඉන්න රටවල් කීපයක් එකතු වෙලා කවයක් හදා ගන්නවා… නමුත් එකක් - කවයන් අතරේ කිසිම රහසක් තියෙන්න බෑ - සම්පූර්ණ ට්රාන්ස්පේරන්සි…”
අපි තුන්දෙනාම සද්ද නැතුව කල්පනා කරා ඊ ලඟ පියවර ගැන. පළමු අදහස ආවේ මලික්ගෙන්.
“ලලිත් නරකද සුරාජ්ට කිව්වොත් මේ අලුත් අදහස ගැන. අවසර ගන්න කතාවක් නෙවෙයි - මුළු එකම කෝඩිනේට් කරන නිසා මිනිහා දැනගත්තොත් හොඳයි නේද?”
“ගුඩ් පොයින්ට්! මම දවල් මිනිහට කෝල් කරන්නම්… නීලා මොකද කියන්නේ?”
“ගුඩ් අයිඩියා… මං බැලුවේ අපෙ නෝටිස් එකට දාන වචන ගැන…”
“ඒක නීලම කරොත් හොඳයි - ගිය සැරේ එකත් වැඩ කරේ නීලගෙ අදහස් නිසානේ!”
……………………………..
කවදාවත් නැතුව එදා හවස මලික් මට පබ් එකට යන්න කතා කරා.
“මොකද හදිස්සියේ? හෙට ඉන්ටවිව් එක ගැන වොරීඩ්ද?”
“නෑ… හැබැයි ලලිත් එක්ක කතාකරගන්න දෙයක් තියෙනවා”
ඒ විදිහට කිව්වහම මට හිතුනා නීලටත් පබ් යන්න කතා කරන එක හරි නෑ කියලා. මලික් මට වඩා කිට්ටුවෙන් නීලව ආශ්රය කරනවා දැන් - මිනිහට ඕනනම් නීලට කතා කරයි.
අපි පබ් එකට පයින් යන්න විනාඩි විස්සක් විතර ගියා. පළවෙනි බීර දෙක ගත්තේ මලික්. ‘චියර්ස්’ කියලා බොන්න පටන්ගත්තට මලික් කතා කරන්න වෙලා ගියා. මම සද්ද නැතුව හිටියා මිනිහා කතා කරනතුරු.
“ලලිත්… මම බ්රිස්බන් ඇවිත් මුල් දවස් කීපය හිටියේ පාරේ… බස් හොල්ට් වල වැඩියම. හොඳ වෙලාවට මම ලංකාවෙන් යූ එස් ඩොලර් ගෙනා නිසා ඒ අතින් කරදරයක් තිබුනෙ නෑ… මට තිබුන කරදරේ ඊට වඩා හුඟාක් ලොකුයි… රටක්, ගෙදරක් දොරක්, නෑදෑ මිතුරෙක් නැති වෙනකොට අනික් කරදර සුළු දේ… එහෙම හිටපු මං බේරගත්තේ ලලිත්… මම කවුද වත් නොදැන…”
මම අත උස්සලා මලික්ගෙ කතාව නැවැත්තුවා.
“මේ… තැන්ක්යූ කියන්න නම් එන්න එපා හරිද? මලික් දන්නවා මමත් හිටියේ හොඳටම අප්සෙට් ගහලා බව”
මිනිහා මගේ වචන ගැන ගානක් ගත්තෙ නැතුව දිගටම කතා කරගෙන ගියා.
“මට ඉන්න තැනක්, කෑම බීම… ඒ සේරටම වැඩිය කතා කරන්න පුළුවන් සගයෙක්… මේ සේරම සැපයුවේ ලලිත්. ඒ වෙනුවට මගෙන් කිසි දෙයක් නොඉල්ලා”
“මලික් කියන්නේ මම ඔයාගෙන් රෙන්ට් ඉල්ලන්න කියලද?”
“මට වැදගත් වුනේ ලලිත් රෙන්ට් ඉල්ලපු නැති එක…”
මම වීදුරුව මේසේ උඩ තියලා නැගිට්ටා.
“මලික් දැන් ඇඬුවා ඇති. මම ඊලඟ බීර එක ගේනාපුවම අපි වෙන දෙයක් ගැන කතා කරමු”
මම බීර ගෙනාවේ හපන්න රට කජු පැකට් එකකුත් එක්ක. මලික් තවම එයාගෙ හිස් වීදුරුව දිහා බලාගෙන.
“වෙන ටොපික් එකක්… හරිද?”
ඒ සැරේ මලික් යන්තම් හිනාවුනා.
“රයිට් - වෙන ටොපික්!”
නමුත් විනාඩි පහක් විතර දුම්රිය දෙපාර්තමෙන්තුව ගැන කතාවෙන් පස්සේ මලික් ආයෙත් පරණ මාතෘකාව කිට්ටුවට ආවා.
“ලලිත්ගෙ ෆ්ලැට් එකට මං එන්න ඉස්සර තනියමද හිටියේ?”
“දවස් කීයද? මලික් හම්බවෙනකොට මම ෆ්ලැට් එක අරගෙන දවස් ගානක් විතරයි”
“නීලත් එහෙමද?”
“නෑ… නීලා ඔය බිල්ඩිමේ අවුරුද්දක් විතර. එයා තමා ඔය ෆ්ලැට් එක මට හොයලා දුන්නේ”
ආයෙත් මලික් නිහඬයි. මිනිහගෙ හිතේ මොනවදෝ තියෙනවා එලියට දාන්න අමාරු. මට හිතුනා ඒක නීලට සම්බන්ධ ඇති කියලා.
“මලික් මට කතාකරන්න ඕන කිව්වේ නීලට සම්බන්ධ යමක්ද?”
මලික් කතාකළේ බීර වීදුරුව දිහා බලාගෙන.
“මං හිතුවේ නීලා ලලිත්ගෙ කෙල්ල කියලා - හොඳටම යාළු නිසා”
මට හිනා ගියා.
“එහෙම එකක් නෑ මලික්… අපි යාළුවෝ විතරයි. ලංකාව නැතිවුන නිසා යාළුවුනා මිස ඊට ඉස්සර අඳුනන්නෙත් යන්තමට … මලික්ගෙ එහෙම අදහසක් තියෙනවානම් නීලා ගැන - ගුඩ් ලක්! මගෙන් කිසි විරුද්ධත්වයක් නෑ!”
ඒ සැරේ මලික් ඇත්තම හිනාවුනා. මට අතට අතත් දුන්නා.
“මේකයි ලලිත්… ලංකාවට වඩා වෙනස් මෙහෙ ඒ වගේ දේ, නේද? මොනවා කියන්නද කරන්නද නොදැන හිටියේ…”
“කෙලින්ම නීලට කතා කරලා බලන එක හොඳයි වටින් පිටින් යන්නෙ නැතුව. වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද්? ‘අපෝ මලික් කැත වැඩියි / මෝඩ වැඩියි / දුප්පත් වැඩියි… වගේ දෙයක් කියයි. ඊට පස්සේ දෙන්නා දැන් වගේ සාමාන්ය යාළුවෝ හැටියට ඉන්නවා… හැබැයි ඕවා දවසකට අමතක කරලා කිට්ටුවෙන්ම රේල්වේ රස්සාවක් ගන්න හෙට ඉන්ටවිව් එක හොඳට කරලා, අනික් ඒවා ඊට පස්සේ බැලුවොත් හොඳයි, මං හිතන්නේ”
…………………..
“ඩොක්ට මීගස්තැන්න?”
කටහඬ අම්මගෙ, වචන මොනවා වුනත්.
“අම්මා? කවද්ද අම්මට මම ඩොක්ට වුනේ?”
“නෑ… මෙතන වෝඩ් එකේ අයට ඇහෙන්න එහෙම කිව්වේ”
අම්මගෙ හිනහවත් එක්ක තවත් කීප දෙනෙකුගෙත් හිනා පසුබිමින් ඇහුනා. මට සන්තෝසයි අම්මා මගෙ පට්ටම ගැන සතුටු වෙනවට. නමුත් මම වැඩ කරන වෙලාවේ මේ ඉස්සරවෙලාම අම්මා ටෙලිෆෝන්කළේ.
“මකොද හදිස්සියක්ද කෝල් කරේ?”
“නෑ නෑ… ලොක්කට දැන් කතා කරන්ට පුළුවන්ද?”
“පුළුවන්. ලොකු සීරියස් දෙයක් වගේ”
ඒ සැරේ අම්මා නිහඬයි, තප්පර කීපෙකට.
“නංගී ගැන…”
“මොකද නංගිට? ලෙඩක්? නැත්තම් රස්සාවක් හම්බවෙලාද? රට ඇරලා යනවද? මොකද්ද?”
අම්මා හිනාවුනා.
“එක අතකින් ඒ සේරම… ලියුමක් ඇවිත් ජනවාරි පත්වීමක් ගැන…”
“ශඃ නියමයි නේ! බලාගෙන ඉඳලා ඉඳලා. කොහාටද පත්වීම?”
“ඒක තවම දන්නෙ නෑ. මොන තුත්තුකුඩියට දායිද දන්නෙ නෑ… හරියට රට ඇරලා යනවා වගේ තමා…”
“අම්මා… ලංකාවේ කොහෙ ගියත් ඒ හැටි දුරක් යෑ? අඩුම ගානේ ලෙඩක් නෑ නේ?”
මම විහිළුවක් කරේ අම්මගෙ ‘ඒ සේරම’ කතාව නිසා.
“ඇඟේ ලෙඩ කෙසේ වෙතත් … උඹෙ නංගී කොල්ලෙක් එක්ක යාළුවෙලා… දැන් කාලයක්… පල්ලෙහා පලාතේ ළමයෙක්… එයා කියනවලු … අනේ මං දන්නෙ නෑ… එයා කියනවලු කසාද බැඳලා කුරුණෑගල පදිංචි වෙමු කියලා…”
“අම්මට මේක ආරංචි වෙලා හුඟක් කල්ද?”
“… ඔය මහින්ද කෙනෙක් ගැන ඉඳලා හිටලා කතා කරාට මම වැඩි ගානකට ගත්තෙ නෑ… ඊයෙ රෑ මට කිව්වේ… පත්වීම ගැන ආරංචියත් ආවේ එයාගෙන්ලු - කුරුණෑගල අධ්යාපන කාර්යාලේ කෙනෙක්…”
මම ටිකක් කල්පනා කරාට මොනවා කරන්න ඕනද කියලා වැටහීමක් මට නෑ. සමහරවිට මල්ලී නම් කළයුතු දේ වහාම පෙන්නලා දෙයි.
“මොකද අම්මා මගෙන් කෙරෙන්න ඕනෑ?”
“හරියටම දන්නෙ නෑ ලොක්කා… දුව කිව්වා ඒ ළමයා ලොක්කට ටෙලිෆෝන් කරයි කියලා. පුතා කතා කරලා බලලා හිතාගමු මොකද කරන්ට ඕනෑ කියලා. සිකුරාද ගමේ එන්ට පුළුවන්ද?”
“මං එන්නං. පුළුවන් වුනොත් මල්ලිටත් කතා කරමු”
එදාම හවස මගෙ නවාතැනේදී නංගිගෙ කොල්ලගෙන් කෝල් එකක් ආවා. ඒක පටන්ගත්තේ අම්මගෙන් ආ කෝල් එක වගේමයි, හැබැයි පිරිමි කටහඬකින්.
“ඩොක්ට මීගස්තැන්න?”
“ඔවු… මේ කවුද?”
“මගෙ නම මහින්ද ජයවීර… ඩොක්ට මීගස්තැන්නගෙ නංගී කුමාරී සම්බන්ධවයි මේ කතා කරන්නේ…”
මට පවු කියලා හිතුනා මිනිහා ගැන. මිනිහට මේක ලේසි කෝල් එකක් නෙවෙයි.
“හලෝ මහින්ද… මට අම්මා කෝල් කරලා කිව්වා මහින්ද කෝල් කරයි කියලා. නමුත් අපි දිගට කතා කරන්න ඉස්සර පලවෙනි නීතිය - මහින්ද මට කතා කරන්නේ ලලිත් කියලා… ලලිත් අයියා වුනත් කමක් නෑ. හැබැයි ඔය ඩොක්ට කතා ආයෙ බෑ. රයිට්?”
“ප්රශ්නයක් නෑ…අ.. ලලිත්”
“අනික… අද තමා නංගිට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා අම්මා මට කිව්වේ. ඒ කියන්නේ මම ඔය සේරටම අලුත් - ඒ ගැන හිතන්නවත් තවම වෙලාවක් හම්බවුනේ නෑ…”
“සොරි ලලිත්… සමහරවිට මම මීට ඉස්සර මේ ගැන පවුලේ අයත් එක්ක කතා කරන්න තිබුනේ”
“ඒක මහින්දගෙ වැරැද්දක් නෙවෙයි - ඒක කරනවානම් කරන්න තිබුනේ නංගිට. හැබැයි නංගිගෙත් වැරැද්දක් කියන්න බෑ… එයා හිතලා බලන්න ඇත්තේ අනික් අයට කියන්න හොඳ වෙලාව ගැන… ගුරු පත්වීම, මම ගමේ නැතිවීම, අම්මට කරදරයක් නොවීම… මේ සේරම බලලා වෙන්න ඇති ඊයේ වෙනතුරු කාටවත් නොකිව්වේ… ඒ බුද්ධිමත් තීරණ - කොහෙන් ආපු මොළයක්ද දන්නෙ නෑ!”
මහින්ද හිනාවුනා ඒකට.
“කුමාරිගෙ මොළේ කිසිම අඩු පාඩුවක් නෑ!”
“ඉතින් බෝයිෆ්රෙන්ඩ්ලා එහෙම නොකියා බෑ, දිගටම ජීවත් එන්න ඕනනම්… අපි දෙන්නා කොහොමද හම්බවෙන්නේ වෙලාවක… මේ සිකුරාදා මම ගෙදර යනවා - මල්ලිත් එයි. වීකෙන්ඩ් එකේ ලොකුම මාතෘකාව ඔය දෙන්නා! හැබැයි මම කැමතියි පුළුවන් නම් ඊට ඉස්සර මහින්ද හම්බවෙන්න…”
ඒ සැරේ මහින්ද කතා කරේ කිසිම පැකිළීමක් නැතුව.
“මම කෝල් කරේ ටවුමේ ඉඳන්… කුමාරී කිව්වා ලලිත් බීර වීදුරුවක් බොන්න කැමති කොහෙද කියලා”
“රයිට්! මට විනාඩි පහක් දෙනවද - මටත් බීර එකක් ඕඩර් කරාට කමක් නෑ!”