ගමන

රාහිත්ට බොහොම ලේසියි මට බස් එකේ යන්න කියලා අවවාද කරන්න - මොකද ගමන යන්නේ මමයි; රාහිත් නෙවෙයි! මම ගෝනියාවට ඇවිත් තවම දවස් කීයද? එක අතකට මම දැනටමත් බස් රථයක ගිහින් තියෙනවා - ගුවන්තොටුපොලේ ඉඳන් විශ්වවිද්යාලෙට. වෙන වාහනයක් මා හමුවෙන්න ඇවිත් නොතිබීම ගැන ඒ වෙලාවේ පුදුමවුනත් දැන් මට ඒක අමුතුයයි හිතෙන්නෙ නෑ. මම ගුවන්තොටුපොලේ ඉඳන් ආවේ සාමාන්ය සිසුවෙක් වගේ - රට වටේ යන්නෙත් එහෙමමයි.

ගමනේ ආරම්භයට පෙර දැක බලාගැනීමට කැමති ස්ථානත් යායුතු මාර්ගත් මාලඟ තිබුන ගෝනියාවේ සිතියමක ලකුණු කරගත්තේ රාහිත්ගේ සහයත් ඇතුවයි. ඒක සිද්ධවුනේ මගේ උපදෙස් අනුව.

“මේකයි රාහිත් වැඩේ…. මිනිස්සු හම්බවෙලා කතා කරනවා වගේම මට නිදහසේ රටතොට දැකබලාගන්නත් ඕනෑ. ඒ කියන්නේ මේ ගමන සම්මුක සාකච්චා මාලාවක් කරගන්නෙ නැතුව මට ඕන විදිහට දවසෙන් දවසට කරනදේ තීරණය කරගන්න ඉඩ තියෙන්න ඕන”

රෑ නවතින්න සුදුසු තැන් සිතියමේ ලකුණුවුනත් ඒ තැන්වල නවතිනවද නැද්ද කියන තීරණේ ගත්තේ මම, දවසෙන් දවසට. මගේ ගමනෙන් වටිනා යමක් එළිදරව් වෙයිද නැද්ද කියලා කිසිම හෝඩුවාවක් ඒ වෙලාවේ මට පෙනුනෙ නෑ.

ගෝනියාව කුඩා රටක්. ඇත්තේ එකම ගුවන් තොටුපොලයි, එකම වරායයි. දුම්රිය මාර්ග නෑ. නමුත් තාර දැමූ පාරවල් මෙන්ම බොරළු පාරවල් රට පුරාම පැතිරී තිබුනා. මා සතු සිතියමේ බස්රථ ගමන් කරන මාර්ග වෙන්කරලා ලකුණුවෙලා තිබීම මට ඉතා ප්රයෝජනවත්වුනා.

උදෙත් හවසත් කොළඹදී දැකපු ‘පොල් පටවපු’ බස් මෙහි නොතිබුනත් මම තදබද වෙලාවන් මගහැරලයි බසයකට නැග්ගේ. මේ ප්රතිපත්තිය මම මුළු ගමනටම පිළිපැද්දා. ඒ අනුව, උදේ කෑමෙන් පසුව වට පිටාවේ ටිකක් ඇවිද බලන්නත් දහයට පමණ බසයකට නගින්නත් පුරුදුවුනා. මම පැය දෙකකට වඩා එකම බස් රථයක ගියේ කලාතුරකින්. මෙයට හේතු කිහිපයක් තිබුනා; රට කුඩා නිසා ගම්/නගර අතර දුර කෙටි වීමත්, අනික් මගියන් සමග වචන කිහිපයක්හෝ හුවමාරු කරගැනීමත්, අවට රටතොට නැරඹීමේ ආශාවත් මේ අතරින් වැදගත් වුනා.

උදේ පැය දෙකක බස් ගමනෙන් පසුව මම දවල් කෑමට කුඩා නගරයක් හෝ ගමක නැවතුනා. සමහරවිට මිනිසුන් ගැවසෙන කඩමන්ඩියක් හෝ දර්ශනීය කන්දක්/වෙරලක්/වැවක් දැක්කොත් මම පැය දෙකකට කලින් බස් එකෙන් බැස්සා. මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානයකින් දවල් කෑමත් හැකි තරම් මහජනයා සමග වචන කිහිපයක්හෝ කතාකිරීමටත් පැයක් දෙකක් යනවා. පාසල් වසන්න ඉස්සර තවත් බස් එකකට නැග්ගේ එදා රෑ නවතින්න බලාපොරොත්තුවෙන ස්ථානයට යෑමටයි. හතරට පමණ ඒ බස් එකෙන් බහින මම රාහිත්ගේ උපදෙස් අනුව නවාතැනක් සොයාගෙනයි හවස කුමක් කරනවාදැයි සිතුවේ.

මගේ නවාතැන පොඩි හෝටලයක් නැත්නම් අමුත්තන්ට කාමර දෙන ගෙදරක්. මා නැවතුන ‘හෝටල්’ අතරට ආපනශාලාවක උඩ තට්ටුවේ කාමරයකුත් අයිතිවුනා. වියදම අනුවත් පිහිටි ස්ථානය අනුවත් මේ ‘හෝටල්’ මගේ අවශ්යතාවයන් හොඳින් සපුරන්න සමත්වුනා. නමුත් ඒවාගේ තිබූ එකම අඩුපාඩුව කතාවට කෙනෙක් නැතිවීමයි - හෝටල් සේවකයෝ/අයිතිකාරයෝ මා දුටුවේ පාරිභෝගිකයෙක් හැටියට පමණයි. ඔවුන් සමග සමාජය ගැන නිදහසේ කතා කිරීම ලේසිවුනේ නෑ.

“මිස්ට ජයවර්දන කොච්චර කල්ද මෙහෙ ඇවිත්? මේ රටත් ලංකාව වගේද? ගෝනියාව ගැන මොකද හිතන්නේ? අර කන්ද උඩට නැගලා බලන්න වටිනවා - හරිම ලස්සනයි!”

මේ කතා වලට උත්තර සපයනවා ඇරුනුකොට මගේ ප්රශ්න ඒ අයට වැදගත් නෑ. අමුත්තන් නවතාගන්නා ‘ගෙස්ට් හවුස්’ මීට වඩා වෙනස්. පවුලේ අය සමග කෑමබීමත් සතුටු සාමීචියත් නිසා මට ඒක දැනුනේ යාළු ගෙදරක නැවතී ඉන්නවා වගේ. ඒ අයගෙන් ඕනෑ තරම් ප්රශ්න අහන්න පුළුවන්. ලැබෙන උත්තර අගති සහිතවුනත් ඒවා තුළින් වටිනා අදහස් මතුවුන බව මට නිසැකයි. නමුත් හෝටල් වගේම ගෙස්ට් හවුස් වලත් අඩුපාඩු තිබුනා; රෑ නමයට ගේට්ටුව වැසීම වගේ සමහර ගෙදර නීති.

කෙසේ වෙතත් මම නවාතැනක් ඇතුලේ ගෙවූ කාලය අඩුයි. නින්දටත් සමහර දිනවල කෑමටත් හැර නවාතැනක ගතකලේ මගේ ගමන් සටහන සම්පූර්ණ කිරීමට පමණයි. එදිනෙදා ඇසූ දුටු සෑම දෙයක්ම කෙටියෙන් හෝ සටහන් කරගැනීමට මම පුරුදුවී සිටියා. උදේට කාපු දේ සහ නිදන ඇඳ/කාමරය ගැනත් ඒ උග්රාවස්ථ දෙක අතරතුර හමුවූ අය, සාකච්චා විෂයන්, දුටු භූමිභාග/නගර/ගම්/පාසැල් වැනි විස්තර, පාවිච්චිකළ පාරවල් සහ වාහන වැනි කී නොකී දහසක් දේ කෙටියෙන් සටහන් කරන්න මම පුරුදුවී හිටියා. මගේම සංකේත ගොන්නක් පාවිච්චිවූ නිසා දවසක සටහන් පැය බාගයකින් ලිවීමට හැකිවුනා. මේ සංකේත පාවිච්චිය නිසා මගේ සටහන් වෙන කෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි වීම මට ප්රශ්නයක්වුනේ නෑ.

………………………………

මගේ ගමන අවසාන වෙන්න දින දෙකකට කලින් උදේ වරුවක ගම්මානයේ පැවති රැස්වීමකට සහභාගිවීමේ වරප්රසාදය මම ලැබුවා. ඒ පෙරදින නවාතැන් හිමියාගේ ආරාධනයක් අනුවයි.

නවාතැන හිමි ලාල්ගේ පවුලේ අය එදා ගෙදර නොසිටි නිසා මමත් ලාලුත් පමණයි රෑ ගෙදර. ඒ නිසාම වෙන්න ඇති රෑ කෑමෙන් පස්සේ අපි බීර වීදුරුවක් තොලගාමින් පැයක් විතර කතාවේ යෙදුනේ.

“උපාලී ගෝනියාවට ඇවිත් සති දෙකක්වත් නැතිවුනාට රටේ සෑහෙන කොටසක් දැනටම දැක්කා නේද?”

“ඔවු ලාල්. ඒක මගෙ වාසනාව! මට හිතාගන්න බෑ රටතොට නොදැක පුස්තකාලේ ඉඳන් මගේ රස්සාව කොහොම කරන්නද කියලා. හොඳ වෙලාවට මගෙ ලොක්කොමයි මේ ගමනට උපදෙස් දුන්නේ”

“ඉතින් මොනවද මේ ගමනෙන් ඉගෙන ගන්නේ?”

“ඒක උත්තර දෙන්න අමාරු ප්රශ්නයක් ලාල්… මොකද… මම එක දෙයක් දිහා නෙවෙයි බලන්නේ; දකින හැම දේම වැදගත්. මට තේරෙනවා ඒක පැහැදිලි නැති බව… උදාහරනයකට ගත්තොත් අපෙ රෑ කෑම - මම මේසේ උඩ තිබුන එක එක දීසි වල හොඳ නරක වෙන වෙනම නොබලා රෑ කෑම ගැන පොදු ඒකාබද්ධ මතයක් තමා හොයන්නේ… මම ‘අද කෑම නියමයි!’ කියන්නේ එක එක දීසි වලින් ලැබෙන දායකත්වය එකතු කරලා… මගෙ රට වටේ ගමනත් ඒ වගේ. එක් බස් එකක් පරක්කුවුනා කියලා හරි යම් තැනක පාර මඩ වුනා හරි කියලා සම්පූර්ණ තක්සේරුව වැඩිය වෙනස්වෙන්නෙ නෑ”

ලාල් හිනාවුනා.

“ඒ කියන්නේ උපාලිට හෙට උදේ කෑම නොලැබුනා කියලා මට බනින්නෙ නෑ!”

මටත් හිනා ගියා.

“ඒකෙන් ගෝනියාව ගැන ගොඩනැගෙන හැඟීම ඒ තරම් වෙනස්වෙන්නෙ නෑ. නමුත් ලාල්ගෙ ගෙදර ගැන හැඟීම නම් සම්පූර්ණෙන්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා!”

අපි දෙන්නම හිනා වෙලා බීර උගුරක් බිව්වා.

“මට හිතාගන්න පුළුවන් නවාතැන් වලින්, කෑම වලින් රට ගැන යමක් හිතාගන්න එක… ඒ වගේම මුනගැහෙන මිනිස්සු, චාරිත්ර වාරිත්ර එහෙමත් වැදගත් ඇති. නමුත් ඊට වඩා අ… සුලබ .... සාමාන්ය දේ, පාරවල්, ගොඩනැගිලි වගේ… ඒවත් වැදගත්ද?”

“අනිවාර්යෙන්… ඒවා රටෙත් ජනතාවගෙ ජීවිතෙත් වැදගත් කොටස්. මම පටු විදිහට… රටේ සංස්කෘතිය විතරක් නෙවෙයි බලන්නේ… ඇත්තටම පාරවල්, ගමනාගමනය මට හුඟක් වැදගත්”

ලාල් ටිකක් වෙලා මා දිහා බලාගෙන හිටියා.

“හෙට අපෙ මීටිමක් තියෙනවා වාහන තදබදය ගැන… කැමතිද ඒකට සහභාගිවෙන්න? හැබැයි එන්නේ අපෙ ගමේ අය මිස ලොකු ලොක්කෝ නෙවෙයි!”

“තදබදය? මම දැක්කෙ නෑ කිසිම තදබදයක්!”

“ලංකාවේ තරම් නැතිවුනාට ඉස්කෝල පටන්ගන්න ඉවරවෙන වෙලාවලට කඩමන්ඩියේ වාහනයක් නවත්තන්න ඉඩ නෑ - හදිස්සියට දොස්තර ගෙදර යන්නවත්”

ලංකාවේ උදේටයි හවසටයි ඕනෑම නගරයකට කිට්ටුව තියෙන තදබදයෙන් දහයෙන් එකක්වත් නැති ගෝනියාවේ මීටිමදී කුමක් සාකච්චා වෙයිද කියා මම ඇති කුතුහලේ නිසා මම ලාල්ගෙ ආරාධනය පිළිගත්තා.

……………………………………….

“අපි සමග අද මෙතන ඉන්නවා අමුත්තෙක් - ගෝනියාව ගැන හදාරන ලාංකිකයෙක්. මම මේ උපාලිට ආරාධනාකළේ අපෙ වගේ ගමක අපේ ප්රශ්න අපිම තෝරාබේරා ගන්න හැටි පෙන්වන්නයි… ඒ නිසා අදවත් අපි හොඳින් හැසිරෙමු!”

ලාල් පැමිණසිටි විස්සක් පමණ ගැමියන්ට මා හඳුන්වා දුන්නා. මම හිස නමා ආරාධනය පිළිගත්තා.

මේ සමිතියේ සභාපති කෙනෙක් සිටිබවක් මට පෙනුනෙ නෑ. කතා කරන්න ඕනෑ කෙනෙක් අත ඉස්සුවා, තම අරමුණ සභාවට දන්වන්න. කිහිප දෙනෙක් එක වෙලාවේ අත් උස්සා තිබුනොත් එකෙක් හැර අනික් සියල්ලෝ අත් පහතට දැම්මා වට පිට බැලීමමෙන් පසුව. මෙය ශිෂ්ට සම්පන්න හැසිරීමක් බව පැහැදිළිව පෙනුනා - එයින් සභා පවත්නා කාලය දික්ගැසුනත්.

සභාවේ පැවතුනේ සාකච්චා මිස විවාද නොවෙයි, පැති කිහිපයකින් අදහස් ඉදිරිපත්වුනත්. පළමුවෙන්ම වාහන තදබද ප්රශ්නයක් ඇතිබව සනාත කෙරුනා. මෙයට විරුද්ධව අදහස් දැක්වූයේ වෙලඳසැල් හිමියෙක් පමණයි. ඉන් පසුව තදබද ඇති වෙලාවන්වල මායිම් ගැන සාකච්චාවක් පැවැත්වුන. පළමුව උදේ හතේ සිට නවය දක්වාත්, දවල් දෙකේ සිට හතර දක්වාත් - පාසැල් වෙලාවන් අලලා මායිම් යෝජනාවුනා. නමුත් පාසැල් බස් රථ ධාවන වේලාවන් නිවරැදිව කිවහැකි නිසා මේ මායිම් කෙටි කිරීමට සභාව එකඟවුනා - 7.30-8.30 සහ 2.30-3.300 ලෙස. මේ එකඟවීමෙන් පසු ඒ මාතෘකාව පසු සාකච්චාලින් සම්පූර්ණෙන්ම අයින්වී ගියා.

ලාල් කියපු විදිහට එතන ගත්තේ අවසාන තීරණය - ඉන් පස්සේ ඒකට විරුද්ධත්වයක් කාගෙන්වත් එන්නෙත් නෑ, කවුරුත් තීරණයට පටහැනිව ක්රියා කරන්නෙත් නෑ. මට ඒ වෙලාවේ හිතුනේ ලංකාවෙත් මේ වගේ සාකච්චා මාර්ගයෙන් මතුවෙන තීරණ සියල්ලෝ පිළිපදින වාතාවරනයක් තිබුනානම් කොයි තරම් හොඳද කියලා.